Friday, April 4, 2014

උඹ මගේම දුව

උඹ මගේම දුව වෙලා ආත්ම ගණනක් උපදින්න ඕන.

සති අන්ත ඉරිදා සන්ධ්‍යාවේදී මම අත්‍යාවශ්‍ය කළමනා කීපයක් රැගෙන ඒමට කඩපළට ගියෙමි. තනිව යාම සාමාන්‍ය සිරිත වුවත්, මෙවර තෙහැවිරිදි දියණියද මගේ සුලැඟිල්ලක මොලකැටි දෑතින් එල්ලී සිටියාය. තරමක් විශාල වෙළඳසැලේ ඒ මේ අත සෙනග සැරි සරති. මා බඩු ගන්නා අතරේ දියණිය මගේ සුලැඟිල්ල අතහැර ඇය රිසි තැන්වල ඇවිද්දාය. සියලුම දෙනා මා හඳුනන බැවින් මම ඈ ගැන වැඩි සැලකිල්ලක් නොදැක්වූයෙමි.

මොහොතකින් බලනවිට පෙනෙන මානයක දියණිය සිටියේ නැත. මම තරමක කලබලයෙන් විපරම් කළෙමි. දුටු දසුනින් මම ඇවිලී ගියෙමි. ඇය වෙළඳසැල කොනේ වූ කුඩා බංකුව මත වාඩි වී මහා බර කල්පනාවකය. ඇයගේ දෙනෙත් තිබුණේ ඇගේ වයසේම තවත් දැරියක් ළඟය. මම මොහොතක් ඇය දෙස බලා උන්නෙමි. ඇය ඇගේ කුඩා මිරිවැඩි සඟල දෙස බැලුවාය. එහි තැන තැන මඩ තැවරී දුර්වර්ණ වී ගොස් තිබුණි. රුපියල් සීයකට මීට බොහෝ කලකට පෙර අරන් දුන් එය දැන් බොහෝ පැරණිය. පොහොසත් දැරිය උජාරුවෙන් ශබ්ද නගන ඇගේ පාවහන් යුවල එහා මෙහා කළාය. ක්‍රමයෙන් රතු පැහැ වන පුංචි මුහුණේ තරු කැටවන් දිළිසෙන නෙත් සඟලේ හැඟුම් තේරුම් ගන්නට මා අපොහොසත්ය. එක්කෝ ඒවා තේරුම් ගන්නට මා බියය. පුංචි සිඟිති දියණිය මේ මිනිසුන් අතර තනිවී සිටින්නා සේ මට පෙනේ.

ඇය මගෙන් කිසිවක් ඉල්ලන්නේ නැත. ඒ පුංචි දෙනෙත් මහමග යන පොඩි උන් ලඟ නතර වෙයි. වාහනවල ගැටෙයි. සතුටින් සිනහවන ළදරු සිනාවන් හා එක් වී සිනාසෙයි. දෙවියනි.. ඇය දන්නේ මොනවාද... ජීවිතයේ කටුක බව පපු කැනැත්තේ ඇතුළතින්ම විඳ දරා ගන්නා දුප්පත් මට ඇය වෙනුවෙන් ලොවක් තැනිය හැකිද..? ඒ පුංචි දෙනෙත් ළඟ මා කවරදාටත් වඩා දුප්පතෙකියි මට දැනේ.

අපට තිබුනේ සරල සුගම ළමා වියකි. ඒ කුරුම්බැට්ටි මැෂිමේ සුරතල් ළමා විය අද ලැප්ටොප් පරිගණකයක් දක්වා විකාශනය වී තිබේ. මා තවමත් සිතන්නේ මගේ දියණියට බෝරිච්චි අත් දැමූ ගවුමක් ඇති කියාය. රබර් සෙරෙප්පු දෙකක් ඇති කියාය. මට වඩා වාසනාවන්ත පියවරුන් තම දරුවන් උදෙසා වත්කම් සරි කරද්දී ඒ හා සැසඳෙන්නට මගේ හිඟන ජීවිතයට නොහැකි වූයේ ඇයි..? දියණියගේ මුව දකිද්දී මට අර මහා දුප්පත්කම අසරණකම දැනෙන්නේ ඇයි..?

"අපි යමු රත්තරං පැටියෝ.."

ඇය දැහැනින් මිදුණාය. ඒ ඇද ගත් සුසුම පුංචි ළය මඩලට බර වැඩි බව මම හොඳටම දනිමි. ඇය ඉපදීමට පෙර මා මීට වඩා ශක්තිමත්ව හිඳින්නට තිබිණ. එක්කෝ දුප්පත් මට දාව උපදින්නට තරම් අවාසනාවක් ඇගේ දෛවයේ නොතිබෙන්නට තිබිණ. ජීවිතයේ දුක අනෝරාවක්ව මගේ හිස මතට කඩා වැටෙද්දී අසරණ දෑතින් මා ඇගේ හිස වසාගන්නට තැත් කරන අසරණ තාත්තා කෙනෙකි. මේ අනෝරාවෙන් ඇයද පීඩා විඳින බව මම දනිමි. නමුදු කාටත් ජීවත් වන්නට අපහසු මේ නපුරු ආර්ථිකයෙන් මා කියා කුමක් කරන්නද... මේ කටුක යථාර්ථයට නිහඬව මුහුණ දෙන පියවරුන් අප අතර කොතෙක් නම් ඇත්ද..?

"තාත්තේ"

"ඇයි පැටියෝ?"

"මට අරවයින් එකක් අරන් දෙන්නකෝ තාත්තේ"

මම අලුතෙන් ඇවිළී ගියෙමි. ගෙන ආ රුපියල් පන්සියයෙන් ඉතිරිව තිබුණේ හරියටම රුපියල් හතලිහකි. ඇය කඩපලේදී දුටු මිරිවැඩි සඟලක්, බෝනික්කෙක් හෝ වෙනයමක් ඉල්ලුවොත්?

"මොනවද රත්තරං පැටියො..?"

"රටකජු ගොට්ටක්.." ඇගේ මුලු වතම සඳ වතක් සේ පිපී ඇත.

මහ මග නොබලා ඇයව බදාගෙන ලෝකයටම ඇසෙන සේ කෑ ගසා අඬන්නට මට සිතෙයි. අපටත් වඩා මේ කිරි කැටියා අපේ ජීවිත තේරුම් ගෙන ඇතිද..?

උඹ මගේම දුව වෙලා ආත්ම ගණනක් උපදින්න ඕන. මතක තියාගන්න, මේ තාත්තා මැරෙන්න මොහොතක් තියල හරි මගේ රත්තරං පැටියට සතුටින් ඉන්න ලෝකයක් හදල දෙනවා. මං දන්නව ඔය පුංචි පපුව ඇතුලෙ හිර කරගත්තු දුක එදාට මහවැලිය වගේ ගලනවා.

"ඔබහට ලෝකය ඉදිකර දී මිස මට යා නොහැකිය පුංචි පුතුන්" කියා මහගම සේකරයන් ලියා තැබුවේ දරුවන් ළඟ තාත්තලාට දැනෙන ඒ මහා අසරණකම සහ ආදරය නිසා විය යුතුය.

ෆේස්බුක් අවනඩුව..


මෑත බාගයේ අපේ රටේ බාලිකාවෝ තිදෙනෙක් හා යොවුන් විවාහයක කාන්තාවක්  ෆෙස්බුක් සබදතා හරහා මතු වූ ගැටලු හේතු කොටගෙන දිවිනසා ගත්හ. මේ මරණ ෆෙස්බුක් ඝාතන ලෙස නම් කෙරුණ අතර මේ මරණවලට ජනමාධ්‍යවලින්ද විශාල ප‍්‍රචාරනයක් ලැබිණි. විශේෂයෙන්ම කුරුණෑගල ප‍්‍රදේශයේ බාලිකාව ගේ මරණයට  ජනමාධ්‍ය තුලින් විශාල ප‍්‍රසිද්දියක් ලබා දෙන ලදි. එයට එක් හේතුවක් වූයේ එම මරණය උද්ඝෝෂණ කිහිපයකට මගපාදා තිබීමයි. එම දැරිය මිය ගියේ ෆේස්බුක් හි පළ වූ ජායාරූපයකට විදුහල්පතිවරයා කළ අවවාදයක් දරාගන්නට නොහැකිව යැයි කියවේ. මේ මරණ වලට වගකිව යුත්තේ ෆේස්බුක් යැයි ස්ථිර ලෙසම නිගමනය කරමින්  ඇතැමුන් ෆේස්බුක් තහනම් කළ යුතු යැයි යෝජනා කරන්නට වුයේ මේ අතරතුරය. එක අතකින් නම් එය හාස්‍යට කරුණකි. උද්ඝෝෂණ පැවැත්විමද එතරම් අමාරු දෙයක් නොවේ. එහෙත් මේ කිසිවකින් ප‍්‍රශ්නයට විසදුමක් නොලැබේ. විනාශ වන්නේ තරුණ පරපුර විනා තිරසාර විසදුමකට පැමිණීමට සමත් වී නැත. මෙය ළමුන් සම්බන්ද ගැටලුවක් වන නිසාත් සමාජීය ගැටලුවක්ද වනවා නිසාත් අධ්‍යපනික ප‍්‍රවෙශයක් ඇති නිසාත් මේ සම්බන්දව විමසා බැලීම වැදගත් වනවා. සැමට විසදුමක් ලෙස ෆේස්බුක් තහනම් කිරීම පිළිගැනීමට හැකි කරුණක් නොවේ.ෆේස්බුක් ඔසසේ තොරතුරු දැනගැනීමේ හා සබදතා වර්ධනය කර ගැනීමේ ඉඩකඩ පවතී. උදාහරනයක් වශයෙන් කෘමිනාශක ගැන සිතන්න.  කෘමිනාශක නිපදවා ඇත්තේ ජිවිත හානිකර ගැනීමට නොවේ. ඒත් කිහිපදෙනෙක් හෝ ප‍්‍රශ්න වලට වැරදී ආකාරයෙන් විසදුම් සෙවිමට කෘමිනාශක උපයෝගි කොට ගන්නවා. නමුත් කෘමිනාශක තහනම් කල නොහැකිය. ළිං වලට පැන සියදිවි හානි කර ගැනීමද අසන්නට ලැබෙන කරුණකි.නමුත් මේ හේතුන් නිසා පානීය ජල ළිං වසා දැමීම කල නොහැක. මේ සංකීර්ණ ගැටලු වලට සරල උත්තර ගැලපෙන්නේ නැත. මෙය නව තාක්ෂණයේ වරදක් නොවේ. තාක්ෂණය ගැන නිසි ලෙස දරුවා දැනුවත් නොකර දරුවට තාක්ෂණය අතට දීමේ වරදයි. විසදුම ඇත්තේ දැනුවත් කරීම තුලයි. යම් අකාරයකින් ජනමාධ්‍යද වරදකරුවන් වේ. ජනමාධ්‍ය කල යුත්තේ මේ මරණ වාර්තා කිරිම පමනක් නොවේ. නිසි පරිදි දැනුවත් කිරීමේ කාර්යට උදව් දීමයි. නව සමාජ ජාල කෙරෙහි තරුණයන් තුල ඇති අනවබෝධයද මේ මරණ සියල්ලටම අඩු වැඩි වශයෙන් බලපා ඇත. ගුරුවරුන් මවුපියන් මෙන්ම දරුවන්ද නව සමාජ ජාල ඇතු`ඵ නව තාක්ෂණයන් ගැන පු`ඵල් අවබෝධයක් ලබා සිටිය යුතු වේ. රටකට  තාක්ෂණයක් හිමිවීමේදී ඒ තාක්ෂණය දරාගන්නට තරම් සංස්කෘතික පරිසරයක් ඒ රට තුල පැවතිය යුතුය. ෂුකර්බර්ග් ෆේස්බුක් නිර්මාණය කළේ නව සබදතා ගොඩනගා ගැනීමටත්  සබදතා පවත්වන්නන් අතර තොරතුරු හුවමාරු කරගන්නටත් ය. එය මිනිසුන් කප්පම් ගන්නටත් දිවිනසා ගන්නටත් භාවිත කිරීම ෂකර්බර්ග්ගේ වරදක් නොවේ.